සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදාම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඬගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා
.. නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලි හෛපූ කොන්ඩු වා ..
ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට
දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරව
රේණු අතරින් කඳුළු සැලූවා
යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
ට්‍රින්කො එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලූවා
කුරුලූ කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතුහට
සඳුගෙ අසරණ දෙනෙත පෙනුණා
ළහිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලූණා
ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬ ගහනවා
සිඟිති අත් පොඩි සොල්ල සොල්ලා
මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි 2010
මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 දෙසැම්බර් 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් ඒවා ප්‍රකාශය පත් කිරීම ඔහු ඝාතනයට ලක්වීමට ආසන්නතම හේතුවයි.
මමත් අතුල විතානගේ මිත්‍රයාත් වෘත්තීමය කටයුත්තක් පිණිස 2007 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් ගෙමිදුලට වී සිටි අප සමුගන්නා අයුරු බලා සිටිනා රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.










