තිරුකෝණමලෛ සඳ

•January 27, 2012 • Leave a Comment
මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 දෙසැම්බර් 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් ඒවා ප්‍රකාශය පත් කිරීම ඔහු ඝාතනයට ලක්වීමට ආසන්නතම හේතුවයි. මමත් අතුල විතානගේ මිත්‍රයාත් වෘත්තීමය කටයුත්තක් පිණිස 2008 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් ගෙමිදුලට වී සිටි අප සමුගන්නා අයුරු බලා සිටිනා රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.

http://vikalpa.org/

සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදාම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඬගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා

.. නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලි හෛපූ කොන්ඩු වා ..

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරව
රේණු අතරින් කඳුළු සැලූවා

යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
ට්‍රින්කො එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලූවා

කුරුලූ කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතුහට
සඳුගෙ අසරණ දෙනෙත පෙනුණා
ළහිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලූණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬ ගහනවා
සිඟිති අත් පොඩි සොල්ල සොල්ලා

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි 2010

මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 දෙසැම්බර් 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් ඒවා ප්‍රකාශය පත් කිරීම ඔහු ඝාතනයට ලක්වීමට ආසන්නතම හේතුවයි.

මමත් අතුල විතානගේ මිත්‍රයාත් වෘත්තීමය කටයුත්තක් පිණිස 2007 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් ගෙමිදුලට වී සිටි අප සමුගන්නා අයුරු බලා සිටිනා රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.

කළු ජනේරුව

•January 26, 2012 • Leave a Comment


එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

“ජනවාරි මාසෙත් ඉවරයි”
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
“ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.”

2012 ජනේරු 25

එන්න ටියුලිප් හෙවනට

•January 15, 2012 • Leave a Comment

by Julian Merrow-Smith.

එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.

නමින් අකුරක් ගිළිහුණ
වෙනත් මිනිසෙකි.
ඔහු අත තිබෙන කවිය ද
වෙනත් කවියකි.

‘’පළාතක නෑ බල්ලෙක්
ඒ වුණත් මං උයන් පල්ලෙක්’’
තනියෙන් කතා කර කර
තනියෙන් ම හිනාවෙන
දිය ඉහින කොලුවා
වට පිට බලන්නේ නැතුවම
පෙති මතට සුළු දියර හැලුවා.
තමන් ම හොයා ගත්
තමන් කැමති ම නිම්නෙක
දෙ ගොඩ තලමින් එ ගඟ ගැලුවා.

ඔන්න නිදහස
එන්න ඕනැම හවසක
ටියුලිප් මලේ හෙවනට
හිරිකඩ ඉසෙනු වාගෙයි
සුළු දිය වුණත් හුළඟට.

මඟහැරී ගිය අකුරු
මඟහැරී යාදෙන්
අලුත් අකුරක් හොයා ගන්නට
අපට පිළිවන් වේවි නිසැක ව ම
ටියුලිප් මලේ නාමෙන්.

අතීතය තරම් බර සුනංගුව
අත්හරින්නට බැරිද
පසුතැවිල්ලට වෙනත් වචනයක් හදමු අපි
බෑ කියන්නෑ, හරිද.

රෑට කළුවර අන්ධයි.
නිහැඬියාවෙන් පමණි පැමිණිලි
නිහැඬියාව ම බින්දැයි.
නිදන්නට ඇත්තේ
තව එක ම එක නින්දයි.
ඊට පෙර එන්නැයි කියන්නේ
ආදරේ හින්දයි.

එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.

අලුත් මිනිසකු සිටියි
ඉපැරණි දෑස පිහ පිහ.
අලුත් කවියක් ලියනට
අලුත් අකුරක් හොය හොය
ඉපැරණි අකුරු ලිහ ලිහ.

(ඇහැල ඇමතුමකට ඇහැරෙමි – 2011)

ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමා

•November 25, 2011 • Leave a Comment

මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය

මනාපය මගෙයි
කඳුළැලි සිනාසෙනු වගෙයි
ඩොනා මට අගෙයි
රස කල්පනා රැලි නැගෙයි

සවී ගෙනෙන පද -සිඹියි
නිවී තියෙන හද
අවී වුණත් වැඳ -වැටෙයි
කවී පොකුරු මැද

බැස්ටියන් ඩොනා -හිටියම
කස්ටියක් මෙනා
ගුරු මුස්ටියත් උනා දී
සන්තුස්ටියක් වුණා

ඉල්ලූ ගමන් පද ලැබෙන
කල්ප වෘක්ෂෙ වැඳ, කවි
මල්ල ලිහමි අද, බලනු
එල්ල හැලෙන නද

මා කවි කියන අතරතුර ඔහු අවදි වී බලයි. ඒ දෑසේ මඳහස කි. මම ඔහු අවුලුවාලනු පිණිස පද තීව‍්‍ර කරමි. දැන් ඉතින් ඔහු මා හා පැටළෙනු ඇත. මට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ඔහුගේ නික්ම යාම පමා කරලීමට ය.

මම :-

කවුඩානට යන පාර
ගව් ගාණට මැන්නෙ
දැන් පව් කාරයො බණ කියති
දෙව් ලෝ පිළිකන්නෙ

ඔහු :-

පව් පිරුණත් මගේ, මෙකවි
රැව් පිළිරැව් නැ‍ඟේ
මුන් කව් සිළුමිණ අගේ කරන
සව් කරදහි වගේ

මම එවර ඔහු ඉලක්කයට ගනිමි. වාදය අවුලුවාලමි. ඔහුගේ හදවත නගන හඬ අසනු රිසියෙනි.

මම :-

මස් මාළුම කැව්වෙ
හැබැයි රස්සාවට බිව්වෙ
මම දුස්රාවකි එව්වෙ, කොහෙද
ඇස්වහගෙන දිව්වෙ

ඔහු :-

ඩොනා එවන පද -දැකල
අනාගෙනද අද
අපෙ සනා පිටිය මැද -වැටුණෙ
කනා මුට්ටි බිඳ

මම :-

අර කවුඩගෙ පිළිරාවේ අරන්
කවුඩානට ආවේ
කවි සව්බර බර ගෑවෙ
ගුරු ගවුරවයද කෑවේ

ඔහු :-

අර බොරූ කකුල් හුරූ පට්ට
හොරූ නෙළති තරූ
මේ ගුරූ හිතේ දරූ පෙමට
ගරූ කරනු මරූ

මම :-

දාඩිය ගඳ යසයි
තිත්ත කාඩිය වුව රසයි
කවි ජාඩිය හරි උසයි නමුත්
මූඩිය හෙණ වසයි

ඔහු :-

දාස් ගණන් පද ගලන
සාස්තරය ලද
අපෙ රාස් කියනවද
පොඩි රෝස් පාන් මැද

මම :-

ගිරා මොටකු කට අරියි
සිරා කවියෙකුට
සුරා සොඬකු හට බැරිය
ගුරා කියනු මට

ඔහු :-

දාලා දෙක ඉතා රසට
මෝලා ඇඹරෙතා
අර නාලාගිරි ඇතා වගෙයි
බීලා නැති පුතා

ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි.

සුවර්ගෙ යන දින මොටද
සුවර් ඔබගෙ තැන – ඔය
ලිවර් එකට පණ පොවල
කවර් කරමි දෙණ

අර මැරෑටියකු වෙන්න හදපු
මට මඟ පෙන්නා
කවි කරාටි පද පුහුණු කරල
කලු පටි දුන්නා

ඔබෙ කට ගෙන බුදුවෙන්ට හදපු
රට සට කපටින්ට
අර අට කොණ ගෙන එන්ට කියමු
බටකොළ වළඳන්ට

තනි අතින් කවපු පිට්ටු
වලට ලතින් පවා මට්ටු
මධු විතින් අපට කිට්ටු
කරපු ඇතුන් සදා කෙට්ටු

පොඩි කුරුල්ලකුව සොයා
කවි කරල් කවපු පියා
මධු බැරල් අපිට තියා
අපෙ ඩොනල් මාම ගියා

ඔය සදාතනික මූණෙ
රැස් නිදා වැටෙනු නෑනෙ
අත් මුදාහැරෙන මානෙ
අපි බෙදා ගනිමු හීනෙ

නොවැම්බර් 05, 2011

ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි)

•November 25, 2011 • Leave a Comment

සාර සියක් ගව් දුර කුළුණක හෙවන
වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනග විමසන සඳ මඳ පවන
බීර මලක් පිපුණයි පිපිරුණු ලවන

දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ
තාම හිනාවෙමි මතකයෙ හෙවනැල්ලේ
නාමෙ දිරන කුණුකය ගෙන සැනසිල්ලේ
බෝම දුර ඇදෙන සුසුමකි පවනැල්ලේ

සේන් කියන ගග දිය සෙනසුරු ලව්වා
මේන් කියා ළමැදට හිරිකඩ එව්වා
කේන්දරය ඉවුරත පරිධිය හෙව්වා
හාන්කවිසියක් නො දැනම කිරි දෙව්වා

සීත, උණුසුමක් දුටුවම නැහැ සද්ද
දෑත අන්ධකාරයෙ මිටි මෙළවෙද්ද
පාත බලාගෙන සමු අරගෙන යද්ද
ඈත, දිව අවුත් ඇහැ ළග ගුලිවෙද්ද

“නිස්කාරණේ සැතපෙනු බෑ තනි යහනේ
පස් මහ බැලුම් පාවෙනවා උඩු ගුවනේ
රස්සාවක් නුඹට විතරද හමු නොවුණේ
බැස්ටීලයට හෙණ වැදිලද සුවාමිනේ”

කිඳුරු විළාපය ඇසුණිද අමාවක
අඳුර ඉකිබිඳින ගණඳුරු වෙලාවක
සොඳුරු ඇසක පාවී යන වලාවක
සොඳුර දිටිද දෙවිඳුනි වැහි වලාහක

ගිම්හානයෙත් හිම මිදෙනා ඇත්තන්ට
සංසාරයම සන්ධ්‍යාවකි බුදු වෙන්ට
නිම්මා නැති කඳුළු පිසදා සැරසෙන්ට
පෙම්මාදරය මැද්දෙම සමු ගෙන යන්ට

සුසා

•August 26, 2011 • Leave a Comment

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් – තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා…

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ ‘එරන්වන් පතෙක’ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක

කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් බෙදුව
”යක්ෂයා” උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැබෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැබෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙන අඬනතුරු
වේදනා උහුලගමු සුසා…

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

අගෝස්තු 24, 2011

යළි නිදන්නෙමි (ඉස්පිරිතාල සිතිවිලි)

•August 25, 2011 • 1 Comment

මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ……….

බෙතඩින් ය – ඔව් ඒ සුවඳ පමණි ය
ගත වෙලෙන ස්නේහය ම.
නිකොටින් ය සිහිනයෙ ම.

සේලයින්
පමණෙකි ය
ඔන් ලයින්.

වේදනාවේ
සැනසුම
දුම් උගුරක් ය
මතකෙට.
මාපකේ උණුහුම
ගල් උගුරක් ය
සිසිලට.
රුධිර පීඩන යන්ත්‍රය
මතුරන රුදුරු මන්ත්‍රය
පංච තන්ත්‍ර ය.

ගල් බාගයක
මූඩියක් කැරකේ ය
කන ගාව.
සිහිය ඒ – අවසන් ය මුර්ජාව.
මග්දලේනා හඬෙකි…..
ජනිත වූ හදවතේ පිළිරාව.
ජනිත වූයේ එ හඬ
ගල් ගසන
මිනිස්සුන්
හට දාව

දෑසින් සැලෙයි
නන්නාඳුනන හෝඩිය….
නො තේරෙන කවි
පේලි ගන්වයි
පත් ඉරුවක් ව
කොට්ටය….
නිහඬතාව
සෙත් කවියක් ය
නින්දට.

මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ…….

අපේ තාත්තා

•July 9, 2011 • Leave a Comment

මහා දුග්ගින්දරට
පර්යාය වූ රුවක් හින්දා…..
එ රුව එහි සෙවනැල්ල
මූදු හතකට දුරින් ඇන්දා.
ගණ අඳුර හිරුට දුන් නින්දා
හදවතේ රුවාගෙන
ඔබ කොහොම හිනැහුණි ද මංදා.
ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව
තාත්තේ අපි ඔබට වැන්දා.

පැහුණු ඉහ ඉද්දරින්
අතීතය රාමු කර තිබුණා.
ආදරේ රාමු කළ නොහෙන සේ
අවසාන වතාවට ජීවිතේ
සෙවනැල්ල උරෙන් උර ගැටුණා.

පොසොන් සඳ ඔරු කඳට
හබල මඟ හැරුණා.
මඟ දන්න සියොතුන්ට සමුදෙන්න
නිම්තෙරට අහස් ගඟ ඇදුණා.
පුපුරු ගසනා දිගැටි නෙත් කෙවෙනි කකියමින්
කවිකමට වැඩි යමක් සැළුණා.

කඳුළු මල් වඩම් ගෙන
මකුළ කඳු තරණයට පෙළ ගැසෙන
නාඳුනන වන්දනා නඩ අතර
දන්න හඳුනන මුහුණු තිබුණා.
වමට බරවී තිබුණු
බිමට බරවුණු මුහුණු
මග හැරුණු මග දෙපස පිරුණා.

පිය බිමේ පිය නගන සිහිනයේ
පිය වදන් ගොළුව ගිය යාමයේ
පිය හඹන්නට පුතුට අත්තටුත් දන් දුන්න
පියකු වේ උත්තුංග ස්නේහයේ

පුතු සෙනේ සම් මස් නහර ඇට මිදුළු විනිවිද ගලනා
නෙතු ඉමේ සංසාරයම එක මිටට ගුලි කර තබනා
පිතු බිමේ නින්නාදයට මතු දිනෙකි ඇසි පිය ඇරෙනා
සකියනේ සංතාපයට පිතු දෙතොල පිළිතුරු නැගෙනා

ජූනි 29, 2011

ඉවසීම නම් වන විලාපය

•June 8, 2011 • Leave a Comment

අඳුරු මඳහාස නොමඳව ලබන්නෙමි
සොඳුරු අපහාස පිරිපත විඳින්නෙමි
මිතුරු අවවාද පිරිසිඳ හැඳින්නෙමි
කිඳුරු හිත තාම තනිවම රකින්නෙමි

කවි පාළුවෙන් අහුලන් කන අතරතුර
අරියාදුවට බැලුවේ ඇයිද සුමිතුර
සිරි යානතට ගව් සිය දහසක් විතර
කරකාරයට ගන්නේ කවුද කරදර

කින්නරී වුණත් වෙන සයුරක තෙරක
සින්න වී ගිහින් විසිතුරු හී සරක
අන්තරා කොටස් නොගැයෙන ගී සරක
බැන්ද ස්නේහයේ ළතැවිලි මහමෙරක

නිල සොයනා අතැඟිලි අතර පන්හිඳ
නිල බෙලෙනා පිහිතුඩු රැගෙන එන්නෙද
නිල නිලනා ඇහිපිය ඉහිනු පැන් පොද
නිල නොවනා හිතකට රිදුණ හින්දද

කාරණාවෙ කරුණාවයි බුදු වෙන්න
මාලිගාවෙ ඇහි පිය යට ඇලවෙන්න
නෑර එකක් ඇහි පිනි කැට මට දෙන්න
දෝර ගලන දුක තනියම උහුලන්න

උදාගිර මතින් හිත අවරට යෑම
ගණාඳුර තමයි කඳුළක සැනසීම
මුදාගෙන පැමිණි සුසුමට සමුදීම
විලාපය තමයි කවියක ඉවසීම.

ජූනි 01, 2011

මේනකා

•April 21, 2011 • Leave a Comment

උලුක්කුව වළලුකර තවනකොට
සපත්තුව, අත් පපුවෙ ගසනවා.
පරක්කුව ඉක්මන්ද
ඔරොප්පුව සන්සුන්ද
තුවක්කුවකින් වචන ගලනවා.

කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට
තරුවලත් වේදනා
දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට
කරුවලයි මේනකා,

රැය තවම තරුණ බව ඇත්ත
ඉක්ම ගිය මොහොතමය, මත්ත
සඳ ලිහන මුහුලසෙහි තිත්ත
ඔබ ඔබෙ ම හදවතින් ගත්ත.

පිනි බිඳක්
කොපුළ මත නාටකා
ඇඟිලි තුඩ
අරගන්න මේනකා.

අත ඉරුණු හැට්ටය
හරි හැඩයි
නෙත දවන දිට්ටිය
බැති වඩයි.
අත හැරුණු වට්ටිය
මල් ඉසියි
කට කැඩුණු මුට්ටිය
බත් පිසියි

හිතක් පපුවක් නැති හුළගට
කවිත් ලියන්න පුළුවනි
අතක් බිඳ වෙලුම්පටි වෙල වෙල
හිසත් සිඹින්න පුළුවනි
ඇසක් යට පිරිත් පැන් ඉහිරන
විරිත් තියෙන්න පුළුවනි
බසක් නැතියෙන් තෙතක් උහුලන
තිතත් තියන්න පුළුවනි.

අමු මිරිස් පෑ රැගත් තාරුකා
දැවිල්ලයි ඇස් දෙකට
සමු අරන්, නවතිද්දි, මේනකා
නිවිල්ලක් නෑ හිතට.

ප්‍රේමයේ නිශ්ශබ්දකම් බින්ද
මේ රැයේ ඉස්මත්ත කවුරුන්ද?

අප්‍රේල් 20, 2011

 
Follow

Get every new post delivered to your Inbox.